ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතාට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බැවින්, නොතීසි ලද වහාම එම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කළේය. සැකකරුට එරෙහිව මහාධිකරණයේ නඩු පවරා ඇති බැවින් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු කටයුත්ත අවසන් කිරීමට ද මෙහිදී තීරණය විය.
2017-2018 කාලසීමාව තුළ ඉන්ධන මිලදී ගැනීමේදී රජයට රුපියල් මිලියන 800කට ආසන්න පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී තිබේ. නියමිත පරිදි දිගුකාලීන ටෙන්ඩර් 3ක් අවලංගු කර, ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් (Spot Tenders) 27ක් මගින් ඉන්ධන මිලදී ගැනීම හරහා මෙම මූල්‍ය අක්‍රමිකතාව සිදු කර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.
මැදපෙරදිග අර්බුදය හමුවේ මෙරට බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ දැඩි අවධානයක් යොමු වී ඇති මෙවන් වකවානුවක, රාජ්‍ය ආයතන තුළ සිදුවූ මෙවැනි මහා පරිමාණ දූෂණ චෝදනා විභාග කිරීමේ කටයුතු අධිකරණය විසින් කඩිනම් කර ඇත.














