ලංකා සීනි සමාගමේ නව සභාපතිවරයා ලෙස ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ හිටපු සාමාන්‍යාධිකාරීවරයෙකු වන වසන්ත අතුල කුමාර මහතා පත් කර තිබේ. එමෙන්ම එහි නව අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා ධර්මවර්ධන උදය කුමාර් මහතා පත් කිරීමට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මෙම පත්වීම් ඉකුත් 19 වැනිදා සිදු කර ඇති අතර, නව නිලධාරීන් දෙපළ 20 වැනිදා පැල්වත්ත සහ සෙවණගල සීනි කර්මාන්තශාලා වෙත ගොස් සේවක පිරිස් සමඟ සුහද සාකච්ඡාවල නිරත වූහ.
ලංකා සීනි සමාගමේ සභාපති ලෙස කටයුතු කළ සඳමාලි චන්ද්‍රසේකර මහත්මිය සහ අධ්‍යක්ෂ මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ දීපිකා ගුණරත්න මහත්මිය එම තනතුරුවලින් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහා මෙම නව පත්වීම් සිදු කර තිබේ. දේශීය සීනි නිෂ්පාදනය ඉහළ නැංවීම සහ ආයතනික කාර්යක්ෂමතාව වර්ධනය කිරීම කෙරෙහි නව කළමනාකාරීත්වයේ අවධානය යොමු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














