තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කරන ලද නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ වන නිසංසලා මහත්මියගේ දේහයන් මේ වන විට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ. පසුගිය සිකුරාදා (13) පස්වරුවේ යුධ හමුදා මූලස්ථානය ආසන්නයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථගාලේදී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් 44 හැවිරිදි නීතිඥවරයා සහ 42 හැවිරිදි ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්වූ අතර, මේ වන විට විශාල පිරිසක් දේහයන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණෙමින් සිටිති.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී තීරණාත්මක තොරතුරු කිහිපයක් අනාවරණය වී තිබේ. වෙඩික්කරුවන් පලා ගිය EP KI-7738 දරන මෝටර් රථය ඊයේ (14) රාත්‍රියේ ගාල්ල, බද්දේගම, අගලිය ප්‍රදේශයේ අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයා ගන්නා ලදී. සොයා ගන්නා අවස්ථාව වන විටත් අපරාධකරුවන් විසින් සාක්ෂි විනාශ කිරීමේ අරමුණින් එම මෝටර් රථය ගිනි තබා තිබූ බවත්, එය දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම අන්තර් හුවමාරුවට ඉතා ආසන්න ස්ථානයක පිහිටා තිබූ බවත් වාර්තා වේ.
ඝාතනය සිදුකළ අවස්ථාවේදී සැකකරුවන් පිස්තෝල සහ ටී-56 වර්ගයේ ගිනිඅවි භාවිත කර ඇති අතර, ඔවුන් පලා යන අතරතුර කොට්ටාව සිකුරාදා පොළ හන්දිය අසලදී යතුරුපැදියක් ද අනතුරට ලක් කර තිබේ. එම ස්ථානයේ වැටී තිබූ ව්‍යාජ අංක තහඩුවක් ද පොලිසිය භාරයට ගෙන ඇත. පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ විශේෂ කාර්ය බලකාය (STF) ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් 10ක් සැකකරුවන් හඳුනා ගැනීම සඳහා අඛණ්ඩව විමර්ශන මෙහෙයවමින් සිටිති.















