දශක ගණනාවක් තිස්සේ සූදු කෙළිබිම් සහ රාත්‍රී සාද සඳහා පමණක් ප්‍රසිද්ධව තිබූ ඇමෙරිකාවේ ලාස් වේගාස් (Las Vegas) හෙවත් “සින් සිටි” (Sin City) නගරය, දැන් ලෝක ක්‍රීඩා සහ ප්‍රමුඛ පෙළේ සංදර්ශන මධ්‍යස්ථානයක් ලෙස නව මුහුණුවරකින් ලොව හමුවට පැමිණෙමින් තිබේ. 2025 වසරේදී සංචාරක පැමිණීම 7.5%කින් පහත වැටීමත් සමඟ, නගරයේ සංචාරක කර්මාන්තය නැවත නගා සිටුවීම සඳහා ක්‍රීඩා සංචාරක (Sports Tourism) ක්ෂේත්‍රය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත.
ලාස් වේගාස් සම්මුති සහ සංචාරක අධිකාරිය (LVCVA) පවසන පරිදි, ගෝලීය ආර්ථික අර්බුද සහ සංචාරක රටාවන් වෙනස් වීම හමුවේ නගරය සිය අනන්‍යතාවය වෙනස් කරමින් සිටී. ඒ අනුව NFL (ඇමෙරිකානු පාපන්දු), ෆෝමියුලා 1 (Formula 1) මෝටර් රථ ධාවන තරඟ, අයිස් හොකී සහ දැවැන්ත සජීවී සංගීත ප්‍රසංග දැන් ලාස් වේගාස්හි ප්‍රධාන ආකර්ෂණයන් බවට පත්ව ඇත.
ලාස් වේගාස් අතීතයේදී “ලොව විවාහ අගනගරය” සහ “විනෝදාස්වාද අගනගරය” ලෙස ප්‍රසිද්ධව තිබූ අතර, වර්තමානය වන විට එය “ලොව ක්‍රීඩා අගනගරය” (Sports Capital of the World) ලෙස පරිණාමය වෙමින් පවතින බව එහි අලෙවි උප සභාපති ෆ්ලෙච් බෲනෙල් (Fletch Brunelle) මහතා සඳහන් කළේය. අත්දැකීම් බහුල සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ඉදිරියේදී තවත් නවීන පහසුකම් සහ වටිනාකම් සහිත සංචාරක පැකේජ හඳුන්වා දීමට ද නගර බලධාරීන් සූදානම් වේ.














