පසුගිය දින කිහිපය තුළ පාරිභෝගිකයන් මුහුණ දුන් ගෑස් හිඟය සහ ඒ ආශ්‍රිත අපහසුතාවයන් පිළිබඳව LAUGFS Gas සමාගම සිය කණගාටුව පළ කර තිබේ. පාරිභෝගිකයන් සමාගම කෙරෙහි තැබූ විශ්වාසය අගය කරමින් සියලුම ගෑස් සිලින්ඩර මත විශේෂ ස්ටිකරයක් ඇලවීමට ද ඔවුන් කටයුතු කර ඇත.
එම ස්ටිකරය මගින් සමාගම පාරිභෝගිකයන් වෙත පවසා සිටින්නේ ගෑස් දැල්ල යනු හුදෙක් ගින්නක් පමණක් නොව එය පවුලේ සතුට, රැකවරණය සහ සාමකාමී ජීවිතය හා බැඳුණු අත්‍යවශ්‍ය සාධකයක් බව තමන් වටහා ගන්නා බවයි. පාරිභෝගික විශ්වාසය තමන්ට විශාල ශක්තියක් වූ බවත් ඒ වෙනුවෙන් ස්තුතිය පිරිනමන බවත් එහි සඳහන් වේ.
සැපයුම් දාමය ශක්තිමත් කිරීමට සහ ගෑස් බෙදාහැරීම ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට මේ වන විට තීරණාත්මක පියවර රැසක් ගෙන ඇති බව LAUGFS Gas සමාගම වැඩිදුරටත් අවධාරණය කරයි. මේ හරහා ඉදිරියේදී පාරිභෝගිකයන්ට බාධාවකින් තොරව ගෑස් ලබා ගැනීමට පහසුකම් සැලසෙනු ඇත.













