වේල්සයේ කාඩිෆ් නුවර යුටිලිටා ඇරීනා (Utilita Arena) හිදී පැවති තියුණු බොක්සිං සටනකින් පසු, පෝටෝ රිකෝ හි ස්ටෙෆනි පිනෙයිරෝ (Stephanie Pineiro) පරාජය කරමින් සිය ලෝක වෙල්ටර්වේට් (Welterweight) ශූරතා රැක ගැනීමට බ්‍රිතාන්‍යයේ ලෝරන් ප්‍රයිස් (Lauren Price) සමත් වුණා. පස්වැනි වටයේදී දෙදෙනාගේ හිස් එකිනෙක ගැටීමෙන් ප්‍රයිස්ගේ තොල සහ ඇස අසල තුවාල සිදු වී රුධිරය ගලා ගියද, ඇය අත්නොහරින උත්සාහයක නිරත වෙමින් තරගය අවසන් කළාය. අවසානයේදී විනිසුරුවන් තිදෙනාගේම ඒකමතික තීරණයෙන් (Unanimous Decision) ප්‍රයිස් ජයග්‍රාහිකාව ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.
තරගයෙන් අනතුරුව, බර පන්ති පහක ලෝක ශූරතා 15 ක් දිනා සිටින සුපිරි අමෙරිකානු ක්‍රීඩිකා ක්ලැරීසා ශීල්ඩ්ස් (Claressa Shields) වළල්ලට පිවිසි අතර, ඔවුන් දෙදෙනා අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත දැවැන්ත තරගයක් පිළිබඳව මූලික එකඟතාවකට පැමිණියා. එහිදී ලෝරන් ප්‍රයිස් කියා සිටියේ, තමන් සැමවිටම දක්ෂතම ක්‍රීඩිකාවන් සමඟ සටන් කිරීමට කැමති බවත්, ශීල්ඩ්ස් සමඟ වළල්ල බෙදා ගැනීම තමන්ට විශාල ගෞරවයක් වනු ඇති බවත්ය. ක්ලැරීසා ශීල්ඩ්ස් ද ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ තමන්ට තවත් එක් තරගයක් ඇති බවත්, ඉන් අනතුරුව 2026 වසර අවසානයේදී ඔවුන් දෙදෙනා අතර සටනක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත්ය.














