ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාල පුතු වන බැරන් ට්‍රම්ප්, බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිනටත් වඩා වැඩියෙන් සැප සම්පත් විඳින “සුරතල් වූ” (Spoiled) අයෙකු බවට MS NOW පුවත් සේවයේ නිවේදක ලෝරන්ස් ඕඩොනෙල් (Lawrence O’Donnell) දැඩි විවේචනයක් එල්ල කර තිබේ. බැරන් ට්‍රම්ප්ගේ 20 වන උපන්දිනය ඉතා ඉහළින් සැමරීම පාදක කරගනිමින් මෙම ප්‍රකාශය සිදුකර ඇත.
මෙහිදී ඕඩොනෙල් පෙන්වා දෙන්නේ, දෙවන ලෝක යුද සමයේදී එලිසබෙත් රැජින රියදුරෙකු සහ කාර්මික ශිල්පිනියක ලෙස හමුදාවට සේවය කළ ආකාරයයි. බැරන් ට්‍රම්ප් ද මෙවැනි සුඛෝපභෝගී උපන්දින සැමරුම් පවත්වනවා වෙනුවට, සිය පියා මෙහෙයවන ඉරාන යුද්ධය සඳහා හමුදාවට බැඳී සේවය කිරීම වඩාත් අගය කළ යුතු ක්‍රියාවක් බව ඔහු පවසයි.
බැරන් ට්‍රම්ප් මේ වන විට නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ (Stern School of Business) දෙවන වසරේ ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යාපනය ලබන අතර, ඔහු වොෂින්ටන් ඩී.සී. හි පිහිටි ශාඛාව වෙත මාරු වී ඇත. පළමු කාන්තාව වන මෙලානියා ට්‍රම්ප් සිය පුත්‍රයා පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව ද විදේශ මාධ්‍ය වාර්තා කරයි. මෙම විවේචනය සම්බන්ධයෙන් ධවල මන්දිරය මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැති වුවද, ට්‍රම්ප් හිතවාදීන් පවසන්නේ මෙය දේශපාලනික වශයෙන් එල්ල කළ මඩ ප්‍රහාරයක් බවයි.














