ලෙබනනයේ බීරුට් අගනුවර දකුණුදිග තදාසන්න ප්‍රදේශයක් වන ‘දාහියේ’ (Dahiyeh) හි පදිංචි සියලු වැසියන්ට වහාම එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදාව යළිත් වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වසන මෙම කලාපයට නුදුරු මොහොතකදී දැඩි ගුවන් ප්‍රහාර එල්ල කිරීමට නියමිත බව පවසමින් ඊශ්‍රායල ආරක්ෂක අංශ මෙම නියෝගය සිදු කර ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි. හිස්බුල්ලා සංවිධානයට අයත් ඉලක්ක වෙත මෙම ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයින් සඳහන් කර සිටියි.
මෙම අනතුරු ඇඟවීම යටතේ හාරෙට් හරෙයික් (Haret Hreik), ගොබේරි (Ghobeiry), ලයිලකි (Laylaki), හදත් (Hadath), බර්ජ් අල්-බරජ්නේ (Burj al-Barajneh), තහ්විතාත් අල්-ගදීර් (Tahwitat al-Ghadir) සහ චියා (Chiyah) යන ප්‍රදේශවල වැසියන්ට වහාම ඉවත් වන ලෙස විශේෂයෙන් දන්වා ඇත. ඊශ්‍රායල හමුදාව විසින් නිකුත් කරන ලද සිතියම් මගින් ප්‍රහාරයට ලක්වන නිශ්චිත ගොඩනැගිලි සහ ඒවායින් අවම වශයෙන් මීටර් 500ක් දුරින් සිටිය යුතු බවට ද උපදෙස් ලබා දී තිබේ.
මෙම හදිසි නියෝගයත් සමඟ බීරුට් අගනුවර වැසියන් දැඩි භීතියට පත්ව ඇති අතර දහස් සංඛ්‍යාත පිරිසක් සිය දේපළ අතහැර ආරක්ෂිත ස්ථාන කරා පළා යමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පවතින උණුසුම් යුද වාතාවරණය හමුවේ ලෙබනනයේ සිවිල් වැසියන් දැඩි මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටින අතර ප්‍රහාර හේතුවෙන් නගරයේ යටිතල පහසුකම්වලට ද දැඩි හානි සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.














