ඉරානය, ඇමෙරිකාව සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෙබනනය තුළ භාණ්ඩ සැපයුම් ජාලය බිඳ වැටී ඇති අතර, එරට දැඩි ආහාර අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන අද ප්‍රකාශ කළේය. ඇමෙරිකාව සහ ඉරානය අතර හෙට පකිස්ථානයේදී පැවැත්වීමට නියමිත තීරණාත්මක සාකච්ඡාවලට පෙර, ප්‍රකාශයට පත් කර ඇති සති දෙකක සටන් විරාමය දැඩි පීඩනයකට ලක්ව ඇති පසුබිමක මෙම අනතුරු ඇඟවීම සිදු කර තිබේ. දැනට පවතින තත්ත්වය අනුව ලෙබනනයේ දකුණු ප්‍රදේශයේ වෙළෙඳපොළවල්වලින් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති අතර, අගනුවර වන බීරූට් නුවර වෙළෙඳපොළවල් ද දැඩි පීඩනයකට ලක්ව ඇත. බොහෝ වෙළෙඳුන් පවසන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග පවතින්නේ තවත් සතියකටත් අඩු කාලයකට පමණක් බවයි.
අවතැන් වූ පවුල් සංඛ්‍යාව ඉහළ යාම නිසා ආහාර සඳහා පවතින ඉල්ලුම සීඝ්‍රයෙන් වැඩි වී ඇති අතර, ඒ හා සමගාමීව ආහාර මිල ගණන් ද ඉහළ ගොස් තිබේ. මේ හේතුවෙන් සාමාන්‍ය ජනතාවට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම අසීරු වී ඇති බව ලෝක ආහාර වැඩසටහනේ ලෙබනන අධ්‍යක්ෂ ඇලිසන් ඕමාන් මහත්මිය පෙන්වා දෙයි. මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඉරානය සිය පොරොන්දු කඩ කරන බවට වොෂින්ටනය චෝදනා කරන අතර, ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ප්‍රහාර සටන් විරාමය උල්ලංඝනය කිරීමක් බව ඉරානය පවසයි. මෙම යුදමය තත්ත්වය හමුවේ ලෙබනනය හුදෙක් සරණාගත අර්බුදයකට පමණක් නොව, ඉතා වේගයෙන් වර්ධනය වන ආහාර සුරක්ෂිතතා අර්බුදයකට ද මැදි වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි.














