ඉරාන උත්තරීතර නායක අලි කමේනිගේ මරණයට පළිගැනීමක් ලෙස පසුගිය මාර්තු 02 වනදා හෙස්බුල්ලා සංවිධානය ඉශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරත් සමඟ ලෙබනනය යළිත් දරුණු යුද ගින්නකට මැදිව තිබේ. රජයේ පාලනයෙන් බැහැරව ක්‍රියාත්මක වන හෙස්බුල්ලා සන්නද්ධ බලකාය ලෙබනනයේ ආරක්ෂක සහ විදේශ ප්‍රතිපත්තිය තීරණය කරන තත්ත්වයට පත්වීම හේතුවෙන් සමස්ත රටම අගාධයකට ඇද වැටී ඇති බවට විවේචන එල්ල වේ.
මෙම යුද ගැටුම් හමුවේ විශේෂයෙන්ම දකුණු ලෙබනනයේ වෙසෙන ක්‍රිස්තියානි ප්‍රජාව දැඩි අසරණභාවයට පත්ව සිටින අතර ඉශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් බීරූට් නුවර දකුණුදිග තදාසන්න ප්‍රදේශවල ජනතාවට සිය නිවාස අතහැර යාමට සිදුව ඇත. දකුණු ලෙබනනයේ සිට උතුරු දෙසට ඇදෙන මාර්ග පලායන පවුල්වලින් පිරී පවතින අතර මේ වන විට ලෙබනනය තුළ 800,000 කට අධික පිරිසක් අවතැන්ව සිටින බව වාර්තා වේ.
තමන් කිසිසේත්ම සම්බන්ධ නැති සහ තමන්ට අවශ්‍ය නොවන යුද්ධයක වන්දිය ගෙවීමට සිදුවීම පිළිබඳව ලෙබනන් වැසියන් තුළ දැඩි විරෝධයක් පවතී. ලෙබනන් අග්‍රාමාත්‍ය නවාෆ් සලාම් (Nawaf Salam) හෙස්බුල්ලා සංවිධානයේ මෙම ක්‍රියාවන් “වගකීම් විරහිත සහ සැකකටයුතු ක්‍රියාවන්” ලෙස හඳුන්වමින් හෙළා දැක ඇති අතර යුද්ධය පිළිබඳ තීරණය රජය සතු විය යුතු බව අවධාරණය කර තිබේ.
හෙස්බුල්ලා සංවිධානයේ සන්නද්ධ ක්‍රියාකාරකම් තහනම් කිරීමට සහ ඔවුන් සතු අවි රජයට භාර දෙන ලෙසට රජය කළ ඉල්ලීම් නොතකා එම සංවිධානය ක්‍රියා කිරීම හේතුවෙන් ලෙබනනයේ ස්වෛරීභාවය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ඉතිහාසයේ කිසිදා නොවූ විරූ මානුෂීය සහ ආර්ථික අර්බුදයකට ලෙබනනය මුහුණ දෙමින් සිටින්නේ බාහිර පාර්ශ්වයන්ගේ අවශ්‍යතා මත මෙහෙයවෙන මෙවැනි සන්නද්ධ කල්ලිවල ක්‍රියාකලාපය නිසා බවට චෝදනා එල්ල වේ.














