හෙස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරවලින් අනතුරුව ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය අද (02) නිවේදනය කළේය.
මෙම ප්‍රහාරවලින් තවත් පුද්ගලයන් 149 දෙනෙකු තුවාල ලබා ඇති අතර, මියගිය පිරිසෙන් තුනෙන් දෙකක්ම දකුණු ලෙබනනයේ පදිංචිකරුවන් බව වාර්තා වේ. අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවත් සමඟ මැදපෙරදිග කලාපය පුරා මෙම යුද ගින්න වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
මේ අතර, කුවේටය දරුණු ප්‍රහාරයන්ට මුහුණ දෙමින් සිටින පසුබිමක, එහි වෙසෙන අමෙරිකානු පුරවැසියන්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා යන ලෙසත් ගෘහස්ථව රැඳී සිටින ලෙසත් අමෙරිකාව හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. “කිසිදු හේතුවක් මත තානාපති කාර්යාලය වෙත පැමිණෙන්න එපා” යනුවෙන් ද අමෙරිකානු බලධාරීන් එහිදී අවධාරණය කර ඇත.
















