දකුණු ලෙබනනය තුළ කිලෝමීටර් 30ක් දක්වා වූ භූමි ප්‍රදේශයක් අත්පත් කරගැනීමට ඊශ්‍රායල හමුදා සූදානම් වීම සම්බන්ධයෙන් කැනඩාව සිය දැඩි විරෝධය පළ කර තිබේ. කැනඩා ගෝලීය කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ ලෙබනනයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව කිසිසේත්ම උල්ලංඝනය නොකළ යුතු බවයි. ගැටුමට සම්බන්ධ සියලු පාර්ශ්වයන් ජාත්‍යන්තර නීතියට අනුකූලව ක්‍රියා කළ යුතු බවත්, සිවිල් වැසියන්, යටිතල පහසුකම්, සෞඛ්‍ය සේවකයින් සහ සාම සාධක භටයින් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටිය යුතු බවත් කැනඩාව වැඩිදුරටත් ඉල්ලා සිටියි.
මේ අතර ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍ය ජීන්-නොයෙල් බැරට් ද ඊශ්‍රායලයේ මෙම සැලසුම් සහගත ආක්‍රමණය හෙළා දකිමින් ප්‍රකාශ කර ඇත්තේ, මෙවැනි භූමි මෙහෙයුමක් සිවිල් වැසියන්ට දරුණු බලපෑමක් ඇති කරනු ඇති බවයි. දැනටමත් ලෙබනනය තුළ පවතින භයානක තත්ත්වය තවදුරටත් උග්‍ර වීම වැළැක්වීම සඳහා මෙවැනි පියවරක් නොගන්නා ලෙස ඔහු ඊශ්‍රායල බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. මාර්තු මස මුල සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ පුද්ගලයින් 1,072 දෙනෙකු මියගොස් 3,000කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ගෝලීය වශයෙන් මෙම විරෝධය පැනනැගී ඇත්තේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් යුද්ධය ජයගත් බව පවසන සහ ඉරානය සමඟ සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීමට උත්සාහ කරන පසුබිමක වීම විශේෂත්වයකි. එසේම ඉරානයේ බුෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාරයට යළිත් ප්‍රහාර එල්ල වීමත් සමඟ කලාපීය ආරක්ෂාව පිළිබඳ අවිනිශ්චිතතාව තවදුරටත් ඉහළ ගොස් ඇත. මෙවැනි තත්ත්වයක් තුළ ලෙබනනය තුළට ගොඩබිම් මෙහෙයුමක් දියත් කිරීම ලෝක දේශපාලනික වශයෙන් දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.















