ලෙබනනයේ දකුණු දිග ප්‍රදේශයේ සිට සජීවී පුවත් වාර්තාකරණයක නිරතව සිටි රුසියානු රජයේ ‘RT’ (පෙර Russia Today) පුවත් සේවයේ මාධ්‍යවේදියෙකු අසලටම ප්‍රබල මිසයිල ප්‍රහාරයක් එල්ල වන අයුරු කැමරාවක සටහන් වී තිබේ. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ RT පුවත් සේවයේ ලෙබනන් කාර්යාංශ ප්‍රධානී ස්ටීව් ස්වීනි (Steve Sweeney) සහ ඔහුගේ කැමරා ශිල්පියා වාර්තාකරණයේ යෙදී සිටි ස්ථානයට අඩි කිහිපයක් පමණක් දුරින් වීම විශේෂත්වයකි.
මෙම අනතුරුදායක අවස්ථාවෙන් ඔවුන් දෙදෙනා “ආශ්චර්යමත් ලෙස” දිවි ගලවාගෙන ඇති බවත්, දැනට ඔවුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන බවත් RT පුවත් සේවය නිවේදනය කර ඇත. බීබීසී (BBC) පුවත් සේවය ද මෙම දර්ශනවල සත්‍යතාව තහවුරු කර තිබේ. මැදපෙරදිග පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ දකුණු ලෙබනනය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය විසින් අඛණ්ඩව ගුවන් සහ ගොඩබිම් ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, මෙම සිදුවීම යුද කලාපවල සිටින මාධ්‍යවේදීන් මුහුණ දෙන අතිශය අවදානම් සහගත තත්ත්වය නැවත වරක් ලෝකයට පෙන්නුම් කර ඇත.
පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ ලෙබනන දේශසීමා ආසන්නයේ වාර්තාකරණ කටයුතු සීමා කිරීමට ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කිහිපයක්ම පියවර ගෙන තිබේ. ලෝක බලවතුන්ගේ මැදිහත්වීමෙන් යුද විරාමයක් සඳහා සාකච්ඡා කෙරෙන පසුබිමක වුවද, බිම් මට්ටමේ පවතින යුද තත්ත්වය තවදුරටත් දරුණු වෙමින් පවතින බව මෙම සිදුවීමෙන් පැහැදිලි වේ.
















