ලෙබනනයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය හමුවේ ගැටුම් පවතින ප්‍රදේශවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබේ. මේ වන තෙක් පවතින ගැටුම් හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් හෝ හානියක් සිදුව නොමැති බව තානාපති කාර්යාලය නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.
ආරක්ෂිත ස්ථාන වෙත යොමු කරන ලද පිරිස් සඳහා අවශ්‍ය ආහාර, නවාතැන් සහ අනෙකුත් මූලික පහසුකම් සැලසීමට කටයුතු කර ඇති අතර, ලෙබනනයේ රැඳී සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ට අනුගමනය කළ යුතු විශේෂ උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ දත්තවලට අනුව මේ වන විට ලෙබනනය පුරා ශ්‍රී ලාංකිකයන් 8,000කට ආසන්න සංඛ්‍යාවක් සේවය කරමින් සිටිති.
ලෙබනනයේ සිටින තම ඥාතීන් පිළිබඳව තොරතුරු දැන ගැනීමට අවශ්‍ය පිරිස් සඳහා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වීමට විශේෂ සන්නිවේදන මාර්ග විවෘත කර ඇති අතර, ඕනෑම හදිසි අවස්ථාවකදී සහය වීමට සූදානම් බව බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.














