ලෝක ප්‍රකට පැසපන්දු තරුවක් වන ලෙබ්‍රොන් ජේම්ස් (LeBron James), NBA ඉතිහාසයේ වැඩිම ක්ෂේත්‍ර ගෝල (Field Goals) සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා ලෙස නව වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා ඩෙන්වර් නගට්ස් (Denver Nuggets) කණ්ඩායම සමඟ පැවැති තරගයේදී ඔහු මෙම සුවිශේෂී සන්ධිස්ථානය පසු කළේ සුපිරි ක්‍රීඩක කරීම් අබ්දුල්-ජබ්බාර් (Kareem Abdul-Jabbar) සතු කර තිබූ 15,837ක වාර්තාව බිඳ දමමිනි.
දැනට 41 වන වියේ පසුවන ලෙබ්‍රොන්, සිය 23 වන NBA තරගවාරය ක්‍රීඩා කරමින් සිටින අතර, ඔහු මේ වන විට ක්ෂේත්‍ර ගෝල 15,842ක් ලබා ගෙන ඇත. මීට පෙර 2023 වසරේදී ඔහු NBA ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා ලෙස ද වාර්තාවක් පිහිටුවූ අතර, පසුගිය වසරේදී සමස්ත ලකුණු 50,000 සීමාව පසුකළ ලොව පළමු ක්‍රීඩකයා බවට ද පත්විය.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ලෙබ්‍රොන් පැවසුවේ, “ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨයන් අතරට මගේ නම එක්වීම පිළිබඳව මම නිහතමානීව ආඩම්බර වනවා,” යනුවෙනි. ලොස් ඇන්ජලීස් ලේකර්ස් (Lakers) කණ්ඩායමේ පුහුණුකරු ජේ.ජේ. රෙඩික්, ලෙබ්‍රොන්ගේ මෙම අඛණ්ඩ දක්ෂතාවය සුපිරි ගායක බෲස් ස්ප්‍රින්ග්ස්ටීන්ගේ (Bruce Springsteen) ගීත එකතුවකට සමාන කළේය.
මෙම වාර්තාවට අමතරව, ලෙබ්‍රොන් ජේම්ස් වැඩිම නිත්‍ය තරගවාර සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා ලෙස රොබට් පැරිෂ්ගේ වාර්තාව බිඳ දැමීමට ද තවත් තරග 5ක් පමණක් පසුපසින් සිටී. ලෙබ්‍රොන් ලබන තරගවාරයේදී ද ක්‍රීඩා කරන්නේද යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.














