භාරතීය සිනමා සංගීතයේ නොමැකෙන සලකුණක් තැබූ ප්‍රවීණ ගායන ශිල්පිනී ආශා බෝස්ලේ (Asha Bhosle) අද (12) පෙරවරුවේ අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට ඇය 92 වැනි වියේ පසු වූවාය. පසුගිය 11 වැනිදා ඇති වූ හදිසි හෘදයාබාධයක් සහ පෙනහළු ආශ්‍රිත සංකූලතා හේතුවෙන් මුම්බායි හි බ්‍රීච් කැන්ඩි (Breach Candy) රෝහලට ඇතුළත් කර සිටි ඇය, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී තිබේ.
1933 සැප්තැම්බර් 8 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේදී උපත ලැබූ ඇය, 1948 වසරේ සිට දශක අටකට අධික කාලයක් ක්ෂේත්‍රයේ රැඳී සිටිමින් භාෂා 20කට අධික සංඛ්‍යාවකින් ගීත 12,000කට වඩා ගායනා කර ඇත. ලොව වැඩිම ගීත සංඛ්‍යාවක් පටිගත කළ ගායන ශිල්පිනිය ලෙස 2011 වසරේදී ගිනස් වාර්තා පොතට ද ඇතුළත් වූ ඇය, ඉන්දීය රජය විසින් පිරිනමන පද්ම විභූෂණ සහ දාදා සහබ් ෆාල්කේ යන ඉහළම ගෞරව සම්මානවලින් ද පිදුම් ලැබුවාය.
භාරතයේ ගීත කෝකිලාව ලෙස හැඳින්වූ ලතා මංගේෂ්කර්ගේ සොයුරිය වන ආශා බෝස්ලේ, සිංහල චිත්‍රපට පසුබිම් ගායනයට ද සිය දායකත්වය ලබා දී ඇති බැවින් ඇයගේ අභාවය ශ්‍රී ලාංකික රසිකයින්ට ද දැඩි සංවේගයක් ගෙන දෙන පුවතකි. ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (13) පස්වරු 4:00 ට මුම්බායි හි ශිවාජි පාර්ක් ක්‍රීඩාංගණයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිත අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු ලොව පුරා කලාකරුවන් රැසක් මේ වන විටත් සිය ශෝකය පළ කර ඇත.














