අදට (15) යෙදී ඇති මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ, මෝහන්ධකාරය දුරු කරමින් ප්‍රඥාලෝකය දැල්වීමේ අධ්‍යාත්මික පණිවිඩය රටේ නව පරිවර්තනයකට මහඟු පිටුවහලක් වන බවයි. සියලු මානව බැඳීම්වලට ගරු කරන, සහකම්පනයෙන් යුත් සමාජයක් ගොඩනැඟීමේදී මෙවැනි ආගමික හා සංස්කෘතික උත්සව ඉතා වැදගත් වන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.
විශේෂයෙන්ම මෑතකදී බලපෑ දිට්වා සුළි කුණාටු ව්‍යසනයෙන් පසු, සැලසුම් සහගතව නැවත නැඟී සිටිමින් දේශපාලන, ආර්ථික සහ සමාජයීය නව පුනරුද යුගයක් කරා ශ්‍රී ලංකාව මේ වන විට ගමන් කරමින් සිටින බව ඔහු සඳහන් කරයි. මමත්වය දුරු කරමින් සාමුහිකත්වය ශක්තිමත් කර ගන්නා ලෙසත්, ශිව රාත්‍රී දින දැල්වෙන පහන් ආලෝකයෙන් හදවත් එකලු කරමින් රටේ අනාගත ගමන්මඟ හෙළි කර ගැනීමට එක්වන ලෙසත් ජනාධිපතිවරයා සියලු දෙනාගෙන් ආරාධනා කර සිටියි.















