ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ (SLTDA) නිල ලියාපදිංචිය සහිත මෙරට ප්‍රථම පූර්ණ ක්‍රියාකාරී සංචාරක ජංගම යෙදුම වන ‘Lily Lanka App’ ඊයේ (17) කොළඹදී උත්සවාකාරයෙන් එළිදක්වන ලදී. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උළෙල පැවැත්විණි.
ශ්‍රී ලංකාවට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට අවශ්‍ය සියලුම තොරතුරු සහ පහසුකම් එක් ස්ථානයකින් ලබාදීම මෙම යෙදුමේ මූලික අරමුණ වන අතර, එය ‘ස්මාර්ට් සංචාරක ව්‍යාපාරයක්’ කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයකි
ගෝලීය සංචාරක ප්‍රවර්ධනය සඳහා ඩිජිටල් වේදිකාවල ඇති වැදගත්කම පෙන්වා දුන් අමාත්‍ය විජිත හේරත් මහතා, මෙමඟින් සංචාරක ආදායමෙන් වැඩි කොටසක් රට තුළ රඳවා ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාසය පළ කළේය
මෙම යෙදුම සාර්ථක කර ගැනීම සඳහා හෝටල් හිමියන්, සංචාරක ක්‍රියාකරුවන් සහ අදාළ ආයතනවල සක්‍රීය සහයෝගය අවශ්‍ය බවත්, ජාතික මට්ටමින් සංචාරක දත්ත කළමනාකරණය කිරීමට මෙය ඉවහල් වන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය
සංචාරක ක්ෂේත්‍රයේ නිරතවන්නන් සඳහා අද සිට ක්‍රියාත්මක වන විශේෂ ඉන්ධන QR ක්‍රමවේදය සහ බ්‍රිටිෂ් එයාර්වේස් සෘජු ගුවන් ගමන් යළි ඇරඹීම වැනි සුබදායී පුවත් සමඟ, මෙම නව ජංගම යෙදුම හඳුන්වා දීම මෙරට සංචාරක කර්මාන්තයට ලැබුණු විශාල ශක්තියකි.
මෙම අවස්ථාවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා ඇතුළු දෙස් විදෙස් විශේෂ අමුත්තන් රැසක් සහභාගී වූහ.














