ලීග් වන් (League One) තරගාවලියේ අඩුම අයවැයක් සහිත කණ්ඩායමක් ලෙස සැලකෙන ලින්කන් සිටි කණ්ඩායම, සියලු අභියෝග ජයගනිමින් වසර 65කට පසු ප්‍රථම වතාවට එංගලන්ත පාපන්දු ලීගයේ දෙවන පෙළ (Championship) සඳහා සුදුසුකම් ලැබීමට සමත්ව තිබේ. රෙඩින් (Reading) කණ්ඩායමට එරෙහිව පැවති තීරණාත්මක තරගයේ 96 වන මිනිත්තුවේදී ජැක් මොයිලන් (Jack Moylan) වාර්තා කළ ජයග්‍රාහී ගෝලයත් සමඟ 2-1ක් ලෙස එම තරගය ජයග්‍රහණය කරමින් ඔවුන් මෙම ඓතිහාසික ජයග්‍රහණය තහවුරු කර ගත්තේය. තරගාවලිය නිමවීමට තවත් තරග පහක් ඉතිරිව තිබියදීම ඔවුන් මෙම ප්‍රවර්ධනය ලබා ගැනීම විශේෂත්වයකි.
මෙම ජයග්‍රහණය වසර 20ක පමණ කාලයක් තිස්සේ සැලසුම් සහගතව ආ ගමනක ප්‍රතිඵලයක් බව ක්‍රීඩා විචාරකයෝ පවසති. විශේෂයෙන්ම 2016 වසරේදී ඩැනී කව්ලි (Danny Cowley) සහ නික්කි කව්ලි යන සොහොයුරන් කණ්ඩායම භාරගැනීමත් සමඟ ලින්කන් සිටි කණ්ඩායමේ වාසනාව වෙනස් වූ අතර, ඔවුන් නගරයේ ජනතාව කණ්ඩායම වටා රොක් කරගනිමින් මෙම සාර්ථකත්වය කරා මඟ පාදා ගත්තේය. දැනට ලීග් වන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන ඔවුන්ගේ මීළඟ ඉලක්කය වී ඇත්තේ ශූරතාවය දිනාගනිමින් මෙම වසර තවත් අමතක නොවන වසරක් බවට පත්කිරීමයි.
















