ප්‍රිමියර් ලීග් ශූර ලිවර්පූර්ල් (Liverpool) කණ්ඩායමේ සුපිරි ඉදිරි පෙළ ක්‍රීඩක මොහොමඩ් සලා (Mohamed Salah) මෙම තරග වාරය අවසානයේදී කණ්ඩායමෙන් ඉවත් වන බව නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඇන්ෆීල්ඩ් (Anfield) ක්‍රීඩාංගණයේ වසර 9ක අතිවිශිෂ්ට කාලපරිච්ඡේදයක් නිමා කරමින් 33 හැවිරිදි සලා සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා මෙම සංවේදී සමුගැනීමේ පණිවිඩය නිකුත් කර ඇත. ලිවර්පූර්ල් කළමනාකරු ආර්න් ස්ලොට් (Arne Slot) සමඟ පසුගිය දෙසැම්බර් මාසයේ ඇති වූ මතභේදාත්මක තත්ත්වය සලාගේ මෙම තීරණයට ප්‍රධාන හේතුවක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
2017 වසරේදී රෝමා කණ්ඩායමෙන් ලිවර්පූර්ල් වෙත පැමිණි සලා, මේ දක්වා තරග 435කදී ගෝල 255ක් රැස් කරමින් කණ්ඩායම් ඉතිහාසයේ තෙවන වැඩිම ගෝල ලාභියා බවට පත්ව සිටී. ඔහුගේ නායකත්වය යටතේ ලිවර්පූර්ල් කණ්ඩායම 2019/20 සහ 2024/25 වසරවලදී ප්‍රිමියර් ලීග් ශූරතාවය දිනාගත් අතර, 2019 වසරේදී යුරෝපීය ශූරයින්ගේ ලීග් (Champions League) ශූරතාවය ද දිනා ගැනීමට සමත් විය. මීට අමතරව ඔහු සිව් වතාවක් ප්‍රිමියර් ලීග් රන් සපත්තුව (Golden Boot) සම්මානයෙන් ද පිදුම් ලැබීය.
සිය සමුගැනීමේ වීඩියෝව මගින් අදහස් දක්වමින් සලා ප්‍රකාශ කළේ, ලිවර්පූර්ල් යනු තමාට හුදෙක් පාපන්දු සමාජයක් පමණක් නොව එය තම ජීවිතයේ කොටසක් බවයි. “අවාසනාවන්ත ලෙස එම දිනය පැමිණ තිබෙනවා. ඔබ මට ලබා දුන් සහයෝගය සහ ආදරය මම කිසිදා අමතක කරන්නේ නැහැ. මම කොහේ ගියත් ‘You will never walk alone’ යන්න සැමවිටම මා සමඟ පවතිනු ඇති” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය. දැනට ආබාධයකට ලක්ව සිටින සලා, සිය අවසන් තරග කිහිපය ක්‍රීඩා කරමින් ඇන්ෆීල්ඩ් ප්‍රේක්ෂකයින්ගෙන් සමුගැනීමට අපේක්ෂාවෙන් පසුවෙයි.














