මැන්චෙස්ටර් සිටි (Manchester City) කණ්ඩායම හමුවේ එෆ්.ඒ (FA Cup) කුසලාන තරගාවලියේදී ලැබූ අන්ත පරාජයෙන් පසු, ලිවර්පූල් (Liverpool) කණ්ඩායම සිය ක්‍රීඩා විලාසය පිළිබඳව දැඩි ස්වයං විවේචනයක නිරත වෙමින් සිටී. පසුගිය සෙනසුරාදා මැන්චෙස්ටර් සිටි හමුවේ 4-0 ක් ලෙස පරාජය වීමෙන් පසු, ලිවර්පූල් නායක වර්ජිල් වැන් ඩිජ්ක් (Virgil van Dijk) ප්‍රකාශ කර සිටියේ සිය කණ්ඩායම තරගය අතරතුර උත්සාහය අතහැර දැමූ (Giving up) බවයි. කෙසේ වෙතත්, පුහුණුකරු ආර්න් ස්ලොට් (Arne Slot) එම ප්‍රකාශය සමඟ එකඟ නොවන නමුත්, නායකයෙකු ලෙස වැන් ඩිජ්ක් දැක්වූ දැඩි ප්‍රතිචාරය අගය කරයි.
මෙම වසරේ ලිවර්පූල් කණ්ඩායම මුහුණ දුන් 15 වන පරාජය මෙය වන අතර, ඔවුන් දැන් යුරෝපීය ශූර පැරිස් සෙන්ට් ජර්මේන් (PSG) කණ්ඩායම සමඟ චැම්පියන්ස් ලීග් (Champions League) අර්ධ අවසන් පූර්ව වටයේ පළමු තරගය සඳහා පැරිස් නුවරට පැමිණ සිටී. අද (අප්‍රේල් 08) රාත්‍රියේ පැවැත්වීමට නියමිත මෙම තීරණාත්මක තරගය පිළිබඳව අදහස් දක්වමින් ස්ලොට් කියා සිටියේ, මැන්චෙස්ටර් සිටි තරගයේදී මෙන් මිනිත්තු 20 ක කාලයක් හෝ දුර්වල ලෙස ක්‍රීඩා කළහොත් මෙහිදී ද දැවැන්ත පරාජයකට මුහුණ දීමට සිදුවන බවයි.
“අපි පසුගිය කාලය පුරාම සෘණාත්මක අත්දැකීම් රාශියකට මුහුණ දුන්නා. මැන්චෙස්ටර් සිටි තරගයේ මුල් විනාඩි 35 තුළ අප පෙන්වූ දක්ෂතාව තරගය පුරාම පවත්වා ගැනීම අපට ඇති ලොකුම අභියෝගයයි,” යනුවෙන් ස්ලොට් වැඩිදුරටත් සඳහන් කළේය. යුරෝපීය ශූරයන් හමුවේ සිය ගෞරවය රැකගෙන ඉදිරියට යාමට නම් ලිවර්පූල් පිලට අද රාත්‍රියේ සුවිශේෂී දක්ෂතාවක් පෙන්වීමට සිදුවනු ඇත.














