ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට සමගාමීව සංවිධානය කරන ලද ‘ලිය ශක්ති’ කාන්තා ව්‍යවසායකත්ව වෙළෙඳපොල කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන මාතර වෙරළ උද්‍යානයේදී ආරම්භ විය. මෙම සමාරම්භක අවස්ථාව සඳහා කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන, අමාත්‍යාංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ජී. අයි. සජීවනී පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. කාන්තා ව්‍යවසායිකාවන් 300කට පමණ සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට අවස්ථාව සලසා දී ඇති මෙම වෙළෙඳපොල අද සහ හෙට යන දෙදින පුරා මාතර වෙරළ උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සහ කාන්තා ව්‍යවසායකත්වය දිරිගැන්වීම අරමුණු කරගනිමින් පවත්වන මෙම ප්‍රදර්ශනය නැරඹීමට ප්‍රදේශයේ ජනතාවට මෙන්ම සංචාරකයන්ට ද විවෘතව පවතී. කාන්තාවන් සවිබල ගැන්වීම උදෙසා මෙවැනි අවස්ථා නිර්මාණය කිරීම හරහා ඔවුන්ගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීමට මෙන්ම නව වෙළෙඳපොල අවස්ථා හඳුනා ගැනීමට මනා පිටුවහලක් ලැබෙනු ඇතැයි සංවිධායක මණ්ඩලය විශ්වාසය පළ කරයි. දේශීය අත්කම්, ආහාර පාන සහ විවිධ නිෂ්පාදන රැසක් මෙම වෙළෙඳපොලෙන් සහනදායී මිලට මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව උදා වේ.














