මුදල් විශුද්ධිකරණ පනත යටතේ රුපියල් තිස්තුන් කෝටියක මුදලක් (මිලියන 330ක්) නීති විරෝධී ලෙස තම ගිණුම්වලට බැර කරවා ගැනීමේ චෝදනාවට අදාළව, දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා හෙවත් ‘ලොකු පැටී’ ලබන මාර්තු 13 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (27) නියෝග කළේය. නීති විරෝධී වත්කම් ඒකකය විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් විය.
මෙම නඩුවේ පළමු සැකකරු වන ‘ලොකු පැටී’ සුම් (Zoom) තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් වූ අතර, දැනට ඇප මත පසුවන දෙවන සැකකරු වන දිනේෂ් කුමාර හෙවත් ගන්දර දේවාලයේ ‘කපුවා’ නමැත්තා විවෘත අධිකරණයේ පෙනී සිටියේය. ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියෙන් පසු ඩුබායි රාජ්‍යයට පලාගොස් සිටි ලොකු පැටී, මීට මාස නවයකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙරටට රැගෙන එන ලදී. මීට පෙර හෙළි වූ කරුණුවලට අනුව, ලොකු පැටීගේ මුදල් පාලන කටයුතු සිදු කර ඇත්තේ මෙම කපු මහතා විසිනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ, දෙවන සැකකරු සන්තකයේ තිබූ බැංකු කාඩ්පත් 7ක් පිළිබඳව සහ ඔහු ලොකු පැටීගෙන් කෝටි 33ක මුදල ලබා ගත්තේද යන්න පිළිබඳව තවදුරටත් පුළුල් විමර්ශන සිදු කරන බවයි. දෙවන සැකකරුගේ බැංකු ගිණුම් වාර්තා ලබා ගැනීමට ද මෙහිදී අධිකරණ අවසරය හිමි විය. සැකකරු ලබන 13 වනදා දක්වා යළි රිමාන්ඩ් කෙරුණු අතර, එදිනට නඩුවේ ඉදිරි ප්‍රගතිය වාර්තා කිරීමට නියමිතය.
















