ලන්ඩනයේ බ්‍රෙන්ට් (Brent) ප්‍රදේශයේ ප්‍රසිද්ධ ස්ථානවල බුලත් විට කා කෙළ ගැසීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයින් දෙදෙනෙකුට බ්‍රිතාන්‍ය පවුම් 1,391 බැගින් (එක් අයෙකුට ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 6කට අධික මුදලක්) දඩ නියම කිරීමට එංගලන්ත බලධාරීන් පියවර ගෙන තිබේ. පොදු ස්ථාන අපිරිසිදු කරන්නන්ට එරෙහිව ක්‍රියාත්මක වන දැඩි නීති රීති යටතේ මෙම දඩ මුදල් නියම කර ඇත.
අක්ෂිත්කුමාර් භද්‍රේ පටෙල් (වයස 31) සහ හිතේෂ් පටෙල් (වයස 32) යන පුද්ගලයින් දෙදෙනාට 2025 ජුනි මාසයේදී ප්‍රථම වරට පවුම් 100ක දඩයක් නියම කර තිබුණද, ඔවුන් එය ගෙවීම පැහැර හැර තිබේ. පසුව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔවුන්ට මෙලෙස දැවැන්ත දඩ මුදලක් ගෙවීමට නියම වූ අතර, කිංග්ස්බරි (Kingsbury) සහ උතුරු වෙම්බ්ලි (North Wembley) දුම්රිය ස්ථාන අසලදී මොවුන් මෙම වැරදි සිදු කර ඇති බව තහවුරු විය.
බ්‍රෙන්ට් කවුන්සිලයේ විධායක සභික කෘපා ෂෙත් (Krupa Sheth) ප්‍රකාශ කළේ නගරයේ වීදි සහ පොදු දේපල අපිරිසිදු කරන පිරිස් සම්බන්ධයෙන් “ශුන්‍ය ඉවසීමේ” (Zero-tolerance) ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි. බුලත් කෙළ ගැසීම නිසා ඇතිවන පැල්ලම් ඉවත් කිරීම ඉතා අපහසු සහ වියදම් අධික කාර්යයක් බව පෙන්වා දුන් ඇය, “අපේ වීදි අපිරිසිදු කළහොත් අපි ඔබව සොයාගෙන දඬුවම් කරනවා” යනුවෙන් දැඩි අනතුරු ඇඟවීමක් ද සිදු කළාය. පසුගිය වසරට සාපේක්ෂව මෙලෙස පනවනු ලබන දඩ මුදල් ප්‍රමාණය දෙගුණයකින් ඉහළ නංවා ඇති බව ද වාර්තා වේ.














