ප්‍රංශ රග්බි කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයෙකු වන ලුවී බියෙල්-බියාරි (Louis Bielle-Biarrey), 2026 පිරිමි සය ජාතික (Men’s Six Nations) රග්බි තරගාවලියේ වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයාට (Player of the Championship) හිමි සම්මානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා. 22 හැවිරිදි මෙම ක්‍රීඩකයා අඛණ්ඩව මෙම ගෞරවනීය සම්මානය දිනාගත් දෙවන වසර මෙය වීම විශේෂත්වයක්.
මෙවර තරගාවලියේදී ප්‍රංශය ශූරතාව දිනා ගැනීම සඳහා ඔහු දැක්වූ දායකත්වය අතිමහත්ය. විශේෂයෙන්ම එංගලන්තයට එරෙහිව පැවති තීරණාත්මක අවසන් තරගයේදී ඔහු විසින් උත්සාහක දිනුම් (Tries) හතරක්ම වාර්තා කරමින් ප්‍රංශයට අඛණ්ඩව දෙවන වරටත් ශූරතාවය තහවුරු කර දීමට විශාල මෙහෙයක් ඉටු කළා. වාර්තාගත ලෙස ක්‍රීඩා ලෝලීන් එක්ලක්ෂ පනස් එක්දහස් පන්සිය විසිපහක් සහභාගී වූ මනාප විමසීමේදී 44% ක ඉහළ ප්‍රතිශතයක් ලබා ගනිමින් ඔහු මෙම සම්මානය තමන් සතු කර ගත්තේ ඉතාලියේ ටොමසෝ මෙනොන්සෙලෝ සහ අයර්ලන්තයේ ස්ටුවර්ට් මැක්ලෝස්කි වැනි ප්‍රබල ක්‍රීඩකයින් පසුකර යමිනි.
පසුගිය වසරේදී සය ජාතික තරගාවලියක් තුළ වැඩිම උත්සාහක දිනුම් ගණනක් (08) ලබා ගැනීමේ වාර්තාව තැබූ ඔහු, මෙවර එම වාර්තාව තවදුරටත් අලුත් කරමින් උත්සාහක දිනුම් 09 ක් වාර්තා කිරීමට සමත් වුණා. මේ වන විටත් ඔහු මෙම තරගාවලි ඉතිහාසයේ වැඩිම උත්සාහක දිනුම් ලාභීන් අතර පස්වන ස්ථානයට පත්ව සිටිනවා. සිය ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙය කණ්ඩායමේ සාමූහික කැපවීමට ලැබුණු තවත් එක් අගනා ඇගයීමක් වන බවයි.














