ශ්‍රී ලංකා සංචාරක සන්ධානය (Sri Lanka Tourism Alliance) විසින් දිවයින වසරේ ඕනෑම කාලයක සංචාරය කළ හැකි සුවිශේෂී ගමනාන්තයක් ලෙස ලෝකය හමුවේ ප්‍රවර්ධනය කිරීම සඳහා “Love Sri Lanka, Always” නමැති නව ගෝලීය ප්‍රචාරක ව්‍යාපෘතිය අද (2026 මාර්තු 16) නිල වශයෙන් ආරම්භ කරන ලදී. මෙරට ප්‍රධාන සංචාරක වෙළඳපොළක් වන ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර වෙළඳපොළවල් ඉලක්ක කරගනිමින් දියත් කර ඇති මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ඇති අතිමහත් විවිධත්වය සහ වසරේ විවිධ කාලවලදී පමණක් අත්විඳිය හැකි සුවිශේෂී සංස්කෘතික හා සොබාදහමේ අසිරිය සංචාරකයින් වෙත හඳුන්වා දීමයි.
සාම්ප්‍රදායික සංචාරක වාර (Peak Seasons) වලින් ඔබ්බට ගොස්, ශ්‍රී ලංකාවේ සෘතුමය වෙනස්කම්වලට අනුව විඳගත හැකි අත්දැකීම් මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරේ. ආසියාවේ විශාලතම වනඅලි එකතුවක් දැකිය හැකි මින්නේරිය අලි රංචු ගැසීම, දිවයිනම ආලෝකවත් වන වෙසක් උත්සවය සහ මහනුවර ඇසළ පෙරහැර වැනි විශේෂිත කාලසීමාවන් තුළ පමණක් දැකිය හැකි සංස්කෘතික හා වනජීවී අසිරිය මෙහිදී සිනමාත්මක වීඩියෝ සහ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ලොව පුරා ප්‍රචාරය කෙරෙනු ඇත. මෙමඟින් රටේ විවිධ ප්‍රදේශවල විසිරී සිටින සංචාරක ප්‍රජාවට වසර පුරා ආදායම් මාර්ග උදාකර දීම ද අපේක්ෂා කෙරේ.
ගෝලීය වශයෙන් පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද, ශ්‍රී ලංකාව ආරක්ෂිත, ස්ථාවර සහ විශ්වාසදායී සංචාරක ගමනාන්තයක් බව මෙම ව්‍යාපෘතිය මඟින් නැවත තහවුරු කරයි. රට පුරා සංචාරක මෙහෙයුම් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලාංකීය ආගන්තුක සත්කාරය සහ ස්වභාවික සෞන්දර්යය අත්විඳීමට සංචාරකයින්ට කිසිදු බාධාවක් නොමැති බව සංචාරක සන්ධානය පෙන්වා දෙයි. “Love Sri Lanka” ඩිජිටල් වේදිකාව හරහා විදේශීය සංචාරකයින්ට තම සංචාර සැලසුම් කිරීමට අවශ්‍ය සියලු පහසුකම් ද සලසා දී ඇත.














