ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් අද (17) සිට ලබන පෙබරවාරි 26 වනදා දක්වා දිවයිනේ පළාත් කිහිපයක වර්ෂාපතනය සහ සුළඟේ වේගය සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලට මෙම තත්ත්වය තදින්ම බලපානු ඇති බව කාලගුණ නිවේදනවල සඳහන් වේ.
මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවන තද වැසි ඇති විය හැකි අතර හම්බන්තොට සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක් තද වැසි අපේක්ෂා කළ හැකිය.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30-40 පමණ වන අතර කළුතර සිට පුත්තලම හරහා මන්නාරම දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැක. මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව විමසිලිමත් විය යුතු බවට අනතුරු ඇඟවේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.














