ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ තවදුරටත් දුර්වල වෙමින් ඊසාන දෙසට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (23) පස්වරුවේ නිවේදනය කළේය.
පද්ධතිය දුර්වල වුවද, එහි බලපෑම හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එමෙන්ම විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා වන තද සුළං ඇති වීමට ඉඩ ඇති බැවින් මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවට අනතුරු ඇඟවේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතුය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඉදිරියේදී නිකුත් කරන නිවේදන කෙරෙහි නිරන්තර අවධානය යොමු කරන ලෙස දැනුම් දෙනු ලැබේ.
පසුගිය 2025 වසරේ අගභාගයේ බලපෑ “දිට්වා” සුළි කුණාටුවෙන් පසු බෙංගාල බොක්ක කලාපයේ කාලගුණික වෙනස්වීම් පිළිබඳව බලධාරීන් දැඩි අවධානයකින් පසුවන අතර, මෙම අඩු පීඩන කලාපය හේතුවෙන් ගොඩබිම් ප්‍රදේශවලට එල්ල විය හැකි බලපෑම අවම වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














