නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගමන් කිරීම හේතුවෙන්, පසුගිය දිනවල පැවති තද වැසි සහිත කාලගුණයේ අඩුවීමක් අද (23) සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව උතුරු, උතුරු-මැද, වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී ස්ථාන ස්වල්පයක පමණක් වැසි බලාපොරොත්තු විය හැක.
කාලගුණයේ සිදුවූ මෙම යහපත් වෙනසත් සමඟ දිස්ත්‍රික්ක කිහිපයකට පනවා තිබූ නායයෑම් රතු නිවේදන ඉවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ. ආරක්ෂිත තත්ත්වය සලකා බලා අවතැන් කඳවුරුවල සිටි ජනතාව යළි නිවෙස් වෙත යොමු කිරීම ආරම්භ කර ඇති බව එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය. කෙසේ වෙතත්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පමණක් තවදුරටත් රතු නිවේදන ක්‍රියාත්මක කර ඇත.
පවතින අපොස සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, ආපදා තත්ත්වයන් හේතුවෙන් අවහිර වූ සියලු මාර්ග මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවයි. විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් විභාග දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන අතර, යම් හදිසි ආපදා තත්ත්වයක් මතු වුවහොත් 117 ක්ෂණික ඇමතුම් අංකය හරහා සහාය ලබාගත හැකි බව ද ඔහු අවධාරණය කළේය.
මේ වන විට ජල ගැලීම් තත්ත්වයක් වාර්තා වන්නේ සෝමාවතිය මාර්ගයේ පමණක් වන අතර අනෙකුත් සියලු ප්‍රධාන ප්‍රවාහන සේවා යථා තත්ත්වයට පත්ව තිබේ. මධ්‍යම සහ සබරගමුව වැනි පළාත්වල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බැවින් රියදුරන්ට විමසිලිමත් වන ලෙස ද උපදෙස් ලබා දී ඇත.














