බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ (Alexander Lukashenko) උතුරු කොරියාවේ නිල සංචාරයක නිරත වෙමින් පියොංයැං (Pyongyang) නුවරදී කිම් ජොන් උන් (Kim Jong Un) හමුවී ඓතිහාසික මිත්‍රත්ව ගිවිසුමකට අත්සන් තබා තිබේ. රුසියාවේ යුක්රේන ආක්‍රමණයට සහාය දක්වන මෙම නායකයන් දෙපළ, බටහිර රටවලින් එල්ල වන පීඩනයට එරෙහිව වඩාත් සමීපව කටයුතු කිරීමට මෙහිදී එකඟ වී ඇත.
මෙම හමුවේදී ලූකෂෙන්කෝ විසින් කිම් ජොන් උන් වෙත ස්වයංක්‍රීය රයිෆල් (Automatic rifle) තුවක්කුවක් තෑගි කර ඇති අතර, එය ලබා දෙමින් ඔහු පවසා ඇත්තේ “සතුරන් පැමිණියහොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා” (Just in case enemies appear) මෙය ලබා දෙන බවයි. එයට ප්‍රතිචාර වශයෙන් කිම් ජොන් උන් විසින් ලූකෂෙන්කෝ වෙත අලංකාර කඩුවක් සහ ඔහුගේ රුව ඇඳි බඳුනක් තෑගි කර තිබේ.
අන්තර්ජාතික නීති උල්ලංඝනය වන මෙවැනි වකවානුවක රටවල් දෙකෙහි ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීමට මෙම සහයෝගීතාව අත්‍යවශ්‍ය බව ලූකෂෙන්කෝ අවධාරණය කළේය. කෘෂිකර්මාන්තය, තොරතුරු තාක්ෂණය සහ මහජන සෞඛ්‍ය යන ක්ෂේත්රවලින් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට නායකයන් දෙපළ මෙහිදී එකඟ වූ බව උතුරු කොරියානු පුවත් සේවය (KCNA) වාර්තා කරයි.














