ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ලුබොක් (Lubbock) නගරයේ හිටපු තරුණ දේවගැතිවරයෙකු වන ලූක් කනිංහැම් (Luke Cunningham), ළමා ලිංගික අපරාධ චෝදනා දෙකකට වරදකරු වී තිබේ. ඒ අනුව ලුබොක්හි 140 වන දිස්ත්‍රික් උසාවියේ විනිසුරු ඩග්ලස් ෆ්‍රයිටැග් (Douglas Freitag) විසින් ඔහුට එක් චෝදනාවකට වසර 40 බැගින් වන සිරදඬුවමක් නියම කරන ලදී. සැකකරුට එරෙහිව එල්ල වී තිබූ චෝදනා 16කින් දෙකකට ඔහු වරදකරු බව පිළිගත් අතර, අනෙකුත් චෝදනා ඉවත් කිරීමට අධිකරණය පියවර ගෙන ඇත.
2018 වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී සිදුවූ මෙම අපරාධ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් එක් වින්දිතයෙකු සඳහන් කළේ, “දේවගැතිවරයෙකු ලෙස ඔබ මිනිසුන්ට දෙවියන්ව පෙන්විය යුතුව තිබුණත්, ඔබ කළේ දෙවියන් ලෙස පෙනී සිටීමට උත්සාහ කිරීම” බවයි. කනිංහැම් 2016 සිට 2020 දක්වා ලුබොක්හි ටර්නිං පොයින්ට් ප්‍රජා පල්ලියේ (Turning Point Community Church) සේවය කර ඇති අතර, පසුව ටෙක්සාස්හි ග්‍රැන්බරි ප්‍රදේශයේ පල්ලියකට ගොස් තිබේ. විනිසුරුවරයා විසින් වින්දිතයන් සඳහා ජීවිතාන්තය දක්වා බලපැවැත්වෙන ආරක්ෂක නියෝගයක් (Protective order) ද නිකුත් කර ඇත.
මෙම නඩු විභාගයේදී පැමිණිල්ල තර්ක කළේ කනිංහැම් යනු ඉතා ප්‍රචණ්ඩකාරී වැරදිකරුවෙකු බවයි. ඔහු දැනටමත් දින 650ක් බන්ධනාගාරගතව සිට ඇති බැවින් එම කාලය ඔහුගේ දඬුවම් කාලයෙන් අඩු කිරීමට ද අධිකරණය තීරණය කළේය. ආගමික නායකයෙකු ලෙස තමන්ට හිමිව තිබූ වගකීම අනිසි ලෙස භාවිතා කරමින් දරුවන්ට සිදු කළ මෙම අමානුෂික අපරාධය සම්බන්ධයෙන් ඇමරිකානු සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.














