කොලොම්බියාවේ බොගෝටා නුවර පැවැත්වෙන ලතින් ඇමරිකානු සහ කැරිබියානු රාජ්‍යයන්ගේ ප්‍රජාවගේ (CELAC) 10 වන සමුළුව අමතමින් බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා (Luiz Inacio Lula da Silva) විදේශීය බලපෑම්වලට එරෙහිව දැඩි විවේචනයක් එල්ල කළේය. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම සෘජුව සඳහන් නොකළද, මෑතකදී වෙනිසියුලානු නායක නිකොලස් මදුරෝ පැහැර ගැනීම සහ කියුබාවට පනවා ඇති ඉන්ධන සම්බාධක වැනි ක්‍රියාවන් හෙළා දකිමින් ඔහු කියා සිටියේ සංවර්ධනය වෙමින් පවතින රටවල් කෙරෙහි නැවතත් යටත් විජිතවාදී ප්‍රවේශයක් වර්ධනය වෙමින් පවතින බවයි. “වෙනත් රටවල් තමන්ට අයිති යැයි සිතීමට කිසිවෙකුට නොහැකියි” යනුවෙන් පැවසූ ලූලා, අතීතයේ රන්, රිදී සහ දියමන්ති කොල්ලකෑ බලවතුන් දැන් තම රටවල පවතින දුර්ලභ ඛනිජ සම්පත් (Rare earths) අත්පත් කර ගැනීමට මාන බලන බවට චෝදනා කළේය.
වර්තමාන ඇමරිකා – ඉශ්‍රායල සහ ඉරාන ගැටුම සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ බ්‍රසීල ජනාධිපතිවරයා, එය 2003 වසරේ ඉරාක ආක්‍රමණයට සමාන කළේය. එදා රසායනික අවි ඇති බව පවසමින් ඉරාකය ආක්‍රමණය කළද අවසානයේ කිසිවක් හමු නොවූ බවත්, අද ඉරානය ආක්‍රමණය කර ඇත්තේ ද න්‍යෂ්ටික බෝම්බ නිපදවන බවට වූ උපකල්පනයක් මත බවත් ඔහු පෙන්වා දුන්නේය. ලතින් ඇමරිකාව තුළ ඇමරිකානු මැදිහත්වීම් වසර 200ක පමණ ඉතිහාසයකට උරුමකම් කීවද, ට්‍රම්ප් පාලනය යටතේ එය නැවතත් උත්සන්න වී ඇති බවත්, බ්‍රසීල භාණ්ඩ සඳහා 50%ක බදු පැනවීම සහ වෙනිසියුලානු නායකයා නිව්යෝර්ක් වෙත රැගෙන යාම වැනි ක්‍රියා මගින් රටවල ස්වෛරීභාවය උල්ලංඝනය වන බවත් ඔහු අවධාරණය කළේය.
එමෙන්ම ගාසා, යුක්රේන සහ ඉරාන ගැටුම් නැවැත්වීමට අපොහොසත් වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බව පැවසූ ලූලා, එහි ආරක්ෂක මණ්ඩලය වහාම ප්‍රතිසංස්කරණය කළ යුතු බවට නැවතත් යෝජනා කළේය. කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්රෝ ද මෙම අදහස අනුමත කරමින් කියා සිටියේ ලෝක යුද්ධ වැළැක්වීමට පිහිටුවූ සංවිධානය අද බෙලහීන වී ඇති බවයි. බ්‍රසීලයේ මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වන ලූලාගේ මෙම ප්‍රකාශය, දකුණු ඇමරිකානු කලාපය තුළ ඇමරිකානු විරෝධී වාමවාදී මතවාදය තවදුරටත් ශක්තිමත් වීමට හේතු වී තිබේ.














