ලුණුගම්වෙහෙර ජලාශයේ ධීවර කටයුතු සඳහා ගිය තරුණයින් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස දියේ ගිලී අතුරුදන් වී ඇති අතර ඔවුන් සෙවීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම තරුණයින් දෙදෙනා සිය මිතුරන් කිහිපදෙනෙකු සමඟ ජලාශයට ගොස් ඇති බවත් එහිදී එක් අයෙකු දියේ ගිලෙන අවස්ථාවේ අනෙක් තරුණයා ඔහුව බේරා ගැනීමට උත්සාහ කිරීමේදී දෙදෙනාම ජලාශයේ ගැඹුරු ප්‍රදේශයකට ඇදී ගොස් ඇති බවත් මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ. අනතුර සිදුවූ ස්ථානයට පැමිණි තරුණයෙකුගේ මවක් හඬා වැටෙමින් ප්‍රකාශ කර සිටියේ අනතුර සිදුවීමට පෙර තම පුතුට ජලාශයට නොයන ලෙස තමන් අවධාරණය කළ බවයි. ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදා කිමිදුම්කරුවන් එක්ව අතුරුදන් වූ තරුණයින් සොයා ජලාශයේ පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ එම කටයුතුවලට යම් බාධා එල්ල වෙමින් පවතින බවද වාර්තා වේ.














