කාර්යාල සේවකයින් ප්‍රවාහනය සඳහා යොදාගන්නා සුඛෝපභෝගී බස් රථයකින් නීතිවිරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස් රථ හිමිකරු ලබන අප්‍රේල් 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. මෙම අසාමාන්‍ය ජාවාරමට සම්බන්ධ අනෙක් සැකකරුවන් දෙදෙනා ද අද (25) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. පොලිසිය සඳහන් කරන පරිදි සැකකරුවන් තිදෙනාම බිංගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීය.
අදාළ බස් රථය දෛනිකව බිංගිරියේ සිට කොළඹ බලා කාර්යාල සේවකයින් ප්‍රවාහනය කරනු ලබන වාහනයක් බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සැකකරුවන් විසින් බිංගිරිය ප්‍රදේශයෙන් ගවයින් පටවාගෙන ආණමඩුව පල්ලම ප්‍රදේශයට රැගෙන ගොස් අලෙවි කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි විය. සුඛෝපභෝගී බස් රථයක් මේ සඳහා යොදාගෙන ඇත්තේ ආරක්ෂක අංශවල ඇසට වැලි ගසා සූක්ෂ්ම ලෙස මෙම ජාවාරම සිදුකිරීමේ අරමුණින් බව පෙනී යයි. බිංගිරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.















