ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා මිත්‍ර රටවල සහාය ඉල්ලා සිටියද, හමුදා බලය යොදා එම මුහුදු මාර්ගය බලහත්කාරයෙන් විවෘත කිරීම ප්‍රායෝගික නොවන බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් අද (02) ප්‍රකාශ කළේය. දකුණු කොරියාවේ සංචාරයක නිරත වෙමින් සිටින මැක්‍රෝන් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවධාරණය කළේ, මෙවැනි හමුදා මෙහෙයුමක් මගින් දැඩි අවදානමක් මතු විය හැකි බවයි.
පසුගිය පෙබරවාරි 28 වනදා ඇමරිකාව සහ ඉශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පසු මැදපෙරදිග කලාපය පුරා යුධමය වාතාවරණයක් හටගෙන ඇති අතර, ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකක් රැගෙන යන හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් වසා දැමීම නිසා ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. හමුදාමය ක්‍රියාමාර්ග වෙනුවට ඉරානය සමඟ සාකච්ඡා සහ සහයෝගීතාවය තුළින් මෙම ගැටලුව විසඳා ගත යුතු බව මැක්‍රෝන් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම, ඇමරිකාව සහ ඉශ්‍රායලය ඉරානයට එරෙහිව දියත් කර ඇති හමුදා මෙහෙයුම්වලට ප්‍රංශය හවුල් නොවන බවත්, තම රට සැමවිටම සාමය අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. ඇමරිකාව විසින් එල්ල කරන විවේචන ප්‍රතික්ෂේප කරමින් ඔහු කියා සිටියේ ජාත්‍යන්තර මුහුදු මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීමට රාජ්‍යතාන්ත්‍රික විසඳුම් අත්‍යවශ්‍ය බවයි.














