මඩකලපුව, කාත්තන්කුඩි පොලිස් වසමට අයත් ප්‍රධාන මාර්ගයේදී යාචක කණ්ඩායම් දෙකක් අතර ඊයේ (19) සවස ඇති වූ දරුණු ගැටුමකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ. තුවාල ලැබූවන් කාත්තන්කුඩි පොලිසියේ මැදිහත්වීමෙන් ගිලන් රථයක් මගින් මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
පවතින ශුද්ධ වූ උපවාස සමය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විශාල යාචකයන් පිරිසක් කාත්තන්කුඩි ප්‍රදේශයට පැමිණ සිටිති. මොවුන් දහවල් කාලයේ සිඟමනේ යෙදී රාත්‍රී කාලයේ වෙළඳසැල් ඉදිරිපිට ලැගුම් ගන්නා අතර, මෙලෙස පැමිණි කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම හටගෙන ඇත.
ගැටුම ඇති වන අවස්ථාවේදී එහි සිටි පිරිස අධික ලෙස බීමතින් සිට ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කාත්තන්කුඩි පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, උපවාස සමය තුළ ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිස් මුර සංචාර තර කිරීමට ද පියවර ගෙන ඇත.














