මදුරන්කුලිය, කඩයමෝට්ටේ කිලාමඩුචේන ප්‍රදේශයේදී අද (05) සවස සිදුවූ අවාසනාවන්ත ලොරි රථ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මදුරන්කුලිය පොලිසිය වාර්තා කරයි. මදුරන්කුලිය කඩයමෝට්ටේ සිංහල මහා විද්‍යාලයේ 3 වැනි ශ්‍රේණියේ සහ 8 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ 8 හැවිරිදි සිතිජ සෙනෙත් සංජන සහ 12 හැවිරිදි දිලිප් මධුශංඛ යන සිසුන් දෙදෙනා මෙලෙස මියගොස් තිබේ. මෙම දරුවන් දෙදෙනා එකම පවුලේ සහෝදරයන් බව ද වාර්තා වේ.
අනතුර සිදුවූ අවස්ථාවේදීම එක් දරුවෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, අනෙක් දරුවා බරපතල තුවාල සහිතව පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර හදිසි ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී මියගොස් ඇත. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු මදුරන්කුලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අධික වේගය හෝ රියදුරුට නින්ද යාම අනතුරට හේතුවී දැයි යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ. පාසල නිමවී නිවස බලා යමින් සිටියදී මෙම විපත සිදුවීම මුළු ප්‍රදේශයම දැඩි ශෝකයට පත් කර තිබේ.














