මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය සහ නාවික ගමන් මාර්ගවලට එල්ල වී ඇති තර්ජන සැලකිල්ලට ගනිමින් ලොව ප්‍රමුඛතම නාවික ප්‍රවාහන සමාගමක් වන ‘මර්ස්ක්’ (Maersk), ගල්ෆ් රටවල් කිහිපයක සිය භාණ්ඩ ප්‍රවාහන සේවා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉරාකය, කුවේටය, කටාර්, බහරේනය, ඕමානය (සලාලා වරාය හැර) සහ සවුදි අරාබියේ දම්මාම් සහ ජුබයිල් ඇතුළු ප්‍රදේශ සඳහා නැවත දැනුම් දෙන තුරු නව භාණ්ඩ වෙන්කරවා ගැනීම් (Cargo Bookings) සිදු නොකරන බව එම සමාගම නිල වශයෙන් නිවේදනය කළේය. සිය සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, භාණ්ඩ සුරක්ෂිතව පවත්වා ගැනීමටත් සිදු කළ අවදානම් තක්සේරුවකින් පසුව මෙම තීරණය ගත් බව පවසන මර්ස්ක් සමාගම, පවතින අස්ථාවරත්වය හමුවේ නාවික ජාලයේ ස්ථාවරත්වය රැක ගැනීම සිය ප්‍රමුඛතාව බව ද අවධාරණය කර ඇත. මෙම තීරණය හේතුවෙන් ගෝලීය සැපයුම් දාමයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවත්, විශේෂයෙන්ම ආසියාව සහ යුරෝපය අතර වෙළෙඳ කටයුතු ප්‍රමාද වීමෙන් භාණ්ඩ මිල ඉහළ යා හැකි බවත් ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.














