මැලේසියාවේ බෝර්නියෝ දූපතට අයත් සබා (Sabah) ප්‍රාන්තය කේන්ද්‍ර කරගනිමින් රික්ටර් මාපකයේ ඒකක 7ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් අද (23) අලුයම හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) මඟින් ද මෙම භූකම්පනයේ ප්‍රබලත්වය තහවුරු කර තිබේ.
මෙම ප්‍රබල භූකම්පනය හේතුවෙන් දේපළ හානි සිදුව ඇති බවට වාර්තා පළ වුවද, කිසිදු ජීවිත හානියක් සිදුව ඇති බවට මෙතෙක් නිල තොරතුරු වාර්තා වී නොමැත. වඩාත් වැදගත් කරුණ වන්නේ මෙම කම්පනයත් සමඟ සාගර කලාපය තුළ සුනාමි තර්ජනයක් ඇතිවීමේ අවදානමක් නොමැති බව ජාත්‍යන්තර සුනාමි තොරතුරු මධ්‍යස්ථාන මඟින් තහවුරු කර තිබීමයි.
මේ අතර, තායිලන්තයේ ද රික්ටර් මාපකයේ ඒකක 6.5ක භූකම්පනයක් හටගත් බවට ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය මුලින් නිකුත් කළ නිවේදනයක් පසුව ඉවත් කර ගැනීමට ඔවුන් පියවර ගෙන ඇත. එය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් වැරදීමකින් නිකුත් වූ නිවේදනයක් බවත්, තායිලන්තය තුළ එවැනි කිසිදු භූකම්පන තත්ත්වයක් වාර්තා වී නොමැති බවත් එරට කාලගුණ විද්‍යා සේවය අවධාරණය කරයි.
සබා ප්‍රාන්තයේ ජනතාවට ප්‍රභල කම්පනයක් දැනී ඇති අතර, පසුව ඇතිවිය හැකි පසුකම්පන (Aftershocks) පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් දැනුම් දී තිබේ. මැලේසියාවේ මෙම ප්‍රදේශය මීට පෙර ද භූකම්පනවලට ලක්වූ කලාපයක් වන අතර සහන කණ්ඩායම් දැනටමත් සක්‍රීය කර ඇත.














