ඊයේ (18) ආරම්භ වූ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීම සඳහා පැමිණි කොළඹ මහානාම විදුහලේ සිසු දරුවන් පිළිගැනීමට විදුහල්පති ප්‍රභාත් විතානගේ මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය පියවර ගෙන තිබුණි. එහිදී සෑම සිසුවෙකුටම නෙළුම් මලක් ලබා දෙමින් ඔවුන්ගේ විභාග කටයුතු සාර්ථක කර ගැනීමට සුභාශිංසන එක් කිරීම සුවිශේෂී සිදුවීමක් විය.
නෙළුම් මල අතට ගත් සිසුන් තම ගුරු මණ්ඩලයට වැඳ ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මහත් උද්යෝගයකින් යුතුව විභාග ශාලා වෙත ගියහ. මෙම අවස්ථාවට විදුහලේ බුද්ධාගම භාර ආචාර්ය පූජ්‍ය සිවරතන හිමිපාණන්, 10-11 අංශභාර ප්‍රධානි රනිල් ගුණසේකර මහතා ඇතුළු ගුරු මණ්ඩලයේ පිරිසක් සහභාගී වී සිටියහ.
වර්තමාන විභාග පීඩනය හමුවේ දරුවන්ගේ මානසික ඒකාග්‍රතාවය සහ ආත්ම විශ්වාසය ඉහළ නැංවීමට මෙවැනි වැඩසටහන් බෙහෙවින් ඉවහල් වන බව අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන් පෙන්වා දෙති. විභාගය ආරම්භ වූ මුල් දිනයේදීම මෙවැනි පිළිගැනීමක් ලැබීම සිසුන්ගේ චිත්ත ධෛර්යය වැඩිකිරීමට මහත් පිටුවහලක් වී තිබේ.














