මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගයේ මයිලපිටිය පහත පල්ලම ප්‍රදේශයේදී අද (12) අලුයම 1.30 ට පමණ බරපතල රිය අනතුරක් සිදුව තිබේ. ටොන් 15 ක බඩඉරිඟු තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක වේගය පාලනය කිරීමට රියදුරා උත්සාහ කිරීමේදී, එහි රෝදයක් පුපුරා යාම හේතුවෙන් රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇත.
මාර්ගයෙන් ඉවතට ලිස්සා ගිය ලොරි රථය පසෙක තිබූ නිවසකට සහ ව්‍යාපාරික ස්ථානයකට දැඩි හානි සිදුකරමින් කඩා වැදී නතර වී තිබේ. අනතුර සිදුවූ අවස්ථාවේ අදාළ නිවස තුළ පිරිසක් සිටියද, වාසනාවකට මෙන් කිසිවෙකුටත් බරපතල තුවාල සිදුව නොමැති බව වාර්තා වේ. කෙසේ වුවද, නිවසේ සහ ව්‍යාපාරික ස්ථානයේ දේපළවලට මෙන්ම ලොරි රථයට ද දැඩි හානි සිදුව ඇත.
බර වාහන ධාවනය කිරීමේදී විශේෂයෙන්ම බෑවුම් සහිත මාර්ගවලදී තිරිංග සහ රෝදවල ප්‍රමිතිය පිළිබඳව නිරන්තරයෙන් සැලකිලිමත් වීම මෙවැනි අනතුරු වළක්වා ගැනීමට වැදගත් බව පොලිසිය පෙන්වා දෙයි. අනතුර සම්බන්ධයෙන් තලාතුඔය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, හානියට පත් දේපළ වෙනුවෙන් වන්දි ලබා දීම පිළිබඳව ද සාකච්ඡා කෙරෙමින් පවතී.













