ඉකුත් දින කිහිපය පුරා ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් සිය අස්වනු නෙළා ගැනීමට නොහැකිව පීඩා විඳි මහවැලි බී සහ සී කලාපවල ගොවි ජනතාව, හදිසියේ ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ තවත් දැඩි අසීරුතාවයකට පත්ව සිටිති. දිට්වා සුළිකුණාටුව හේතුවෙන් විනාශ වූ වගා බිම් දෙවන වරටත් වැපිරීමට සිදුවීම නිසා මොවුන්ගේ අස්වනු නෙළීම සති කිහිපයකින් ප්‍රමාද වී තිබුණි. මෙම පසුබිම තුළ අස්වනු නෙළන යන්ත්‍ර (භූතයා) සඳහා අයකරන කුලිය අසාධාරණ ලෙස ඉහළ යෑම හේතුවෙන් තමන් “කබලෙන් ළිපට වැටුණු” තත්ත්වයකට පත්ව ඇති බව ගොවීහු මැසිවිලි නඟති.
මීට පෙර හෙක්ටයාර් එකක අස්වනු නෙළීම සඳහා කොළමඩින යන්ත්‍රයකට අය කළ රුපියල් 35,000ක මුදල, ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ රුපියල් 48,000 සිට 50,000 දක්වා ප්‍රමාණයකින් ඉහළ දමා ඇත. පසුගිය සතියේදී ගොවීන්ට සහනදායී ක්‍රමවේදයක් යටතේ ඉන්ධන ලබා දීමට බලධාරීන් කටයුතු කළේ නම් මෙවැනි විශාල මූල්‍ය පාඩුවක් විඳීමට සිදු නොවන බව ගොවි සංවිධාන පෙන්වා දෙයි. පවතින වර්ෂා සහිත කාලගුණයත් සමඟ අස්වනු විනාශ වීමේ අවදානම හමුවේ, යන්ත්‍ර හිමියන් ඉල්ලන අධික මුදල ගෙවීමට ගොවීන්ට බලකෙරී තිබේ.
ගොයම් කපන යන්ත්‍ර සඳහා අයකරන කුලිය නියාමනය කිරීමට කිසිදු රාජ්‍ය ආයතනයක් හෝ නිලධාරියෙකු මැදිහත් නොවීම හේතුවෙන් යන්ත්‍ර හිමියන් හිතුමතේ මිල ගණන් නියම කරන බවට ගොවීහු චෝදනා කරති. මෙමගින් වගා පිරිවැය ඉහළ යන අතර ගොවියාට ලැබෙන ලාභය අවම වීම නිසා ඉදිරි කන්නයේ වගා කටයුතු පිළිබඳව ද අවිශ්වාසයක් මතු වී ඇත. වත්මන් රජය වහාම මැදිහත් වී ගොයම් කැපීමේ කුලිය නියාමනය කිරීමට පියවර ගත යුතු බව මහවැලි ගොවි ජනතාව අවධාරණය කර සිටිති.
උපුටා ගැනීම: දෙහිඅත්තකණ්ඩිය – රණතුංග සහ දිඹුලාගල – ප්‍රසන්න සිල්වා














