අවුරුදු 16ක් වයසැති කෙනරෙකුගේ මුඛයට දැඩි හානි සිදුවීමෙන් ආහාර ගැනීමට නොහැකිව ඇද වැටී සිටියදී හමුවෙයි
වනජීවී පශු වෛද්‍ය කණ්ඩායම් සහ මහියංගනය වන අලි පාලන ඒකකය එක්ව ප්‍රතිකාර අරඹයි
ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ බඩ ඉරිඟු වගා කරන ගොවිපළක සිටියදී හක්කපටස් ආහාරයට ගැනීම නිසා අසාධ්‍ය තත්ත්වයට පත් වූ වන අලි කෙනරෙකු හමුවී තිබේ. මුඛයට සිදුව ඇති බරපතළ හානි හේතුවෙන් ආහාර ගැනීමට නොහැකිව මෙම සත්වයා දුර්වල වී බිම ඇද වැටී සිටි බව වාර්තා වේ.
මෙම වන අලි කෙනර සහ ප්‍රතිකාර මෙහෙයුම පිළිබඳ තොරතුරු මෙසේය. ගොවිපළ සේවකයින් දැනුවත් කිරීමෙන් පසු මහියංගනය වන අලි පාලන ඒකකයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක මංජුල ප්‍රදීප් මහතාගේ උපදෙස් මත වනජීවී නිලධාරීන් එම ස්ථානයට පැමිණ තිබේ. පසුව මධ්‍යම කලාපයේ වනජීවී පශු වෛද්‍ය අකලංක පිනිදිය මහතා ඇතුළු කණ්ඩායම විසින් අසාධ්‍ය තත්ත්වයේ සිටින සත්වයාට ප්‍රතිකාර ආරම්භ කර ඇත.
පශු වෛද්‍යවරුන් පවසන්නේ මෙම කෙනර අවුරුදු 16ක් පමණ වයසැති, අඩි හය හමාරක් පමණ උස සත්වයෙකු බවයි. හක්කපටස් නිසා මුඛ කුහරයට සිදුවූ හානිවලට අමතරව සත්වයාගේ ශරීරයේ වෙඩි වැදුණු සලකුණු ද දක්නට ලැබෙන බව ඔවුහු පෙන්වා දෙති. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අසාධ්‍ය වූ මෙම වන අලියා බේරා ගැනීම සඳහා වනජීවී නිලධාරීන් දැඩි උත්සාහයක නිරත වන අතර සිද්ධිය සම්බන්ධයෙන් මහියංගනය වන අලි පාලන ඒකකය මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.














