මැදපෙරදිග කලාපයේ දැනට පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අනාගතයට විශාල බලපෑමක් සහ ගැටලුකාරී තත්ත්වයක් ඇති විය හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. සිරි මංගල විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මෙහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ වත්මන් රජය සම්බුද්ධ ශාසනයට දක්වන සැලකිල්ල පිළිබඳව ගැටලුවක් පවතින බවයි. තම පාලන කාලය තුළ ශාසනික කටයුතුවලට ඉහළම ප්‍රමුඛතාවක් ලබා දුන් බව සිහිපත් කළ ඒ මහතා, වත්මන් පාලනය යටතේ බුද්ධි අංශ නිලධාරීන් සිරගත කිරීම සම්බන්ධයෙන් ද සිය විරෝධය පළ කළේය. රට වෙනුවෙන් සේවය කළ බුද්ධි අංශ නිලධාරීන් ඇගයීමට ලක් කළ යුතු බවත්, ඔවුන් මෙලෙස සිරගත නොකළ යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
පවතින ජාත්‍යන්තර යුදමය තත්ත්වය තවදුරටත් ඉදිරියට ගියහොත් රටේ අනාගතය පිළිබඳව තීරණාත්මක ගැටලු පැනනගිනු ඇති බවත්, වත්මන් රජයේ ක්‍රියාකලාපය පිළිබඳව තමන්ට වඩා හොඳින් ජනතාව දන්නා බවත් පවසමින් මහින්ද රාජපක්ෂ මහතා සිය අදහස් දැක්වීම අවසන් කළේය.














