හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ ලෝක වෙළඳපොළේ පවතින අහිතකර තත්ත්වයන් හමුවේ අසල්වැසි රටවල ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ ගියද, ශ්‍රී ලංකාව තුළ එම මිල ඉහළ දැමීම සාපේක්ෂව ඉතා අඩු මට්ටමක පවතින බවයි. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ජාත්‍යන්තර බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ යද්දී, රජය විසින් ඉන්ධන මිල සංශෝධනය කිරීමේදී ජනතාවට දැරිය හැකි මට්ටමේ අවම වැඩිවීමක් පමණක් සිදු කිරීමට පියවර ගෙන ඇති බව හිටපු ජනාධිපතිවරයා අවධාරණය කරයි.
විශේෂයෙන්ම දකුණු ආසියාතික කලාපයේ අනෙකුත් රටවල ඉන්ධන මිල සංශෝධනයන් දෙස බැලීමේදී එම රටවල් සියයට විස්සක හෝ ඊට වැඩි ප්‍රතිශතයකින් මිල ඉහළ නංවා ඇති බව පෙන්වා දෙන ඔහු, ශ්‍රී ලංකාවේ මිල සූත්‍රයට අනුව සිදු වූ මෙම වැඩිවීම ඉතා සුළු මට්ටමක පවතින බව සඳහන් කළේය. ලෝක වෙළඳපොළේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ වුවද දේශීය ආර්ථිකය කළමනාකරණය කරමින් ජනතාවට සහනදායී මිලකට ඉන්ධන ලබා දීමට පවතින උත්සාහය මෙයින් පැහැදිලි වන බවත්, අසල්වැසි රටවල් මුහුණ දෙන දැඩි උද්ධමනකාරී තත්ත්වය මෙරටට එල්ල වීමට ඉඩ නොතබා පාලනය කර ඇති බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් කියා සිටියේය.












