ශ්‍රී ලංකාවේ බඩඉරිඟු අවශ්‍යතාව සහ සැපයුම විද්‍යාත්මකව කළමනාකරණය කිරීම සඳහා නිර්මාණය කරන ලද ‘Maize Stock‘ මාර්ගගත තොරතුරු පද්ධතිය සහ වෙබ් යෙදුම (Web App) පසුගිය 20 වැනිදා කෘෂිකර්ම අමාත්‍යාංශයේදී එළිදක්වන ලදී. කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී, මෙරට බඩඉරිඟු ක්ෂේත්‍රයේ දත්ත පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි. රට තුළ පවතින බඩඉරිඟු තොග පිළිබඳ නිවැරදි තොරතුරු රැස් කිරීම සහ අනවශ්‍ය ලෙස බඩඉරිඟු ආනයනය කිරීම පාලනය කරමින් විදේශ විනිමය ඉතිරි කර ගැනීම මෙම පද්ධතියේ ප්‍රධාන අරමුණයි.
මෙම නව ඩිජිටල් පද්ධතිය හරහා බඩඉරිඟු ගොවීන්ට තම අස්වැන්න සඳහා පවතින වෙළෙඳපොළ ඉල්ලුම කල්තියා හඳුනා ගැනීමටත්, අතරමැදියන්ගේ බලපෑමෙන් තොරව සාධාරණ මිලක් ලබා ගැනීමටත් අවස්ථාව උදා වේ. එමෙන්ම සත්ත්ව ආහාර නිෂ්පාදකයන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය පවතින ස්ථාන සහ ප්‍රමාණයන් පහසුවෙන් හඳුනාගත හැකි බැවින් ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකි වනු ඇත. දේශීය නිෂ්පාදනය පිළිබඳ නිවැරදි දත්ත පද්ධතියක් පැවතීම රජයට දේශීය ගොවියා ආරක්ෂා වන අයුරින් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට ද මහත් පිටුවහලක් වේ.
ක්ෂේත්‍රයේ විනිවිදභාවයක් ඇති කිරීම සඳහා මෙම පද්ධතියට ලියාපදිංචි වන ලෙස නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සියලුම බඩඉරිඟු ගොවීන්ගෙන්, තොග රැස්කරන්නන්ගෙන් සහ ආහාර නිෂ්පාදකයන්ගෙන් ඉල්ලා සිටියේය. දත්ත මත පදනම් වූ තීරණ ගැනීම හරහා ගොවියා මෙන්ම පාරිභෝගිකයා ද ආරක්ෂා වන සමබර වෙළෙඳපොළක් නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාවයි.















