රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවන් වන ‘ඩුබායි සුද්දා’ සහ ‘පානදුරේ කුඩු සළිඳු’ යන අයගේ සමීපතම ගෝලයෙකු අත්අඩංගුවට ගැනීමට පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබේ.
ඊයේ (19) රාත්‍රියේ පානදුර වලාන ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ ලෙස්ලි ගුණවර්ධන මාවතේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවට ලද තොරතුරක් මත ඔහුගේ නිවස වටලන අවස්ථාවේදී, ඔහු මත්ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා නිවසින් පිටතට යාමට සූදානම්ව සිට ඇත. එහිදී ඔහුගේ සාක්කුවේ තිබී හෙරොයින් ග්‍රෑම් 103යි මිලිග්‍රෑම් 300ක් සොයාගෙන තිබේ.
සැකකරු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය එතීම සඳහා භාවිත කරන විශේෂිත A4 ප්‍රමාණයේ කොළ 23ක් පොලිස් භාරයට ගෙන ඇත. එම එක් කොළයක අඟලක පමණ කුඩා කොටු 63ක් තිබී ඇති අතර, ඒ සෑම කොටුවකම ‘උකුස්සෙකුගේ’ රූපයක් සහ රු. 650/- ලෙස මිල සටහන් කර තිබීම විශේෂත්වයකි. මත්ද්‍රව්‍ය පැකට් කිරීමේදී පාරිභෝගිකයාට තම ‘නිෂ්පාදනය’ හඳුනාගත හැකි සුවිශේෂී සලකුණක් ලෙස මෙය භාවිත කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සිල්වාගේ අධීක්ෂණය මත, ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලකරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළහ. අත්අඩංගුවට ගත් සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.














