මාලඹේ ප්‍රදේශයේ පිරිමි පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු විසින් අතපසුවීමකින් තමන් අතට පත්වූ විශාල මුදලක් සහිත බෑගයක් නැවත එහි හිමිකරුට ලබා දීමට කටයුතු කිරීම හේතුවෙන් ඔහු කාගේත් ඇගයීමට ලක්ව තිබේ. පාසල් විදුහල්පතිවරයා පවසන පරිදි, මෙම සිසුවා බස් රථයකින් බැස යන අවස්ථාවේදී අත්වැරදීමකින් තමන්ගේ බෑගය වෙනුවට වෙනත් බෑගයක් රැගෙන ගොස් ඇති අතර, පසුව පරීක්ෂා කිරීමේදී එහි මුදල් මිටි කිහිපයක් තිබෙනු දැක ඇත. ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක වූ සිසුවා උප විදුහල්පතිවරයා ද සමඟ විදුහල්පතිවරයා හමුවී එම බෑගය භාර දීමට කටයුතු කර තිබේ.
පාසල් බලධාරීන් විසින් එම බෑගය පරීක්ෂා කිරීමේදී එහි මුදල් නෝට්ටු මිටි සමඟ බැංකු ඉතිරි කිරීමේ පොතක් ද හමු වී ඇති අතර පසුව එම බෑගය සීල් තැබීමට ඔවුහු පියවර ගත්හ. අදාළ බැංකුව හරහා හිමිකරු සොයා ගැනීමට කටයුතු කිරීමෙන් පසු, බෑගයේ හිමිකරු පාසලට පැමිණ ඇති නමුත් ආරක්ෂිත පියවරක් ලෙස එම මුදල් නිසි හිමිකරුටම ලැබෙන බව තහවුරු කර ගැනීම සඳහා විදුහල්පතිවරයා එම කටයුත්ත මාලඹේ පොලිසිය වෙත යොමු කරන ලදී. සිසුවාගේ අවංකභාවය අගය කළ විදුහල්පතිවරයා සඳහන් කළේ මෙය අතිවිශිෂ්ට ක්‍රියාවක් බවත්, වෙනත් අයෙකුට මෙම මුදල් හමු වූයේ නම් එය නැවත හිමිකරුට ලැබේද යන්න සැක සහිත බවත්ය.
පසුව මාලඹේ පොලිස් ස්ථානයේදී මුදල් සහිත බෑගය සහ එම සිසුවාගේ පාසල් බෑගය අදාළ පාර්ශවයන් අතර හුවමාරු කර ගැනීමට කටයුතු කෙරිණි. සමාජයේ සදාචාරාත්මක වටිනාකම් පිරිහෙමින් පවතින යුගයක, මෙම සිසුවා දැක්වූ අවංකභාවය සමස්ත ශිෂ්‍ය ප්‍රජාවටම මෙන්ම සමාජයටම ලබා දුන් වටිනා ආදර්ශයක් ලෙස බොහෝ දෙනා පෙන්වා දෙති. පාසල් බලධාරීන් සහ පොලිසිය එක්ව මෙම සිසුවාව විශේෂ ඇගයීමකට ලක් කිරීමට ද බලාපොරොත්තු වේ.














