මැලේසියාවේ පීනෑන්ග් (Penang) දූපතට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී බලපත්‍ර රහිතව නැවක සිට තවත් නැවකට ඩීසල් ලීටර් 700,000ක් පමණ හුවමාරු කරමින් සිටි ටැංකි නැව් දෙකක් එරට සමුද්‍රීය බලාත්මක කිරීමේ ඒජන්සිය (MMEA) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් කලාපය පුරා ඇති වී තිබෙන ඉන්ධන හිඟය හමුවේ, ඉන්ධන ජාවාරම් මැඩපැවැත්වීම සඳහා මැලේසියාව දියත් කර ඇති දැඩි මෙහෙයුම් අතරතුර මෙම වැටලීම සිදුකර ඇත.
පසුගිය සෙනසුරාදා බගන් අජම් (Bagan Ajam) මුහුදු තීරයේ නැංගුරම් ලා තිබූ මෙම නැව් දෙක පිළිබඳව ලැබුණු බුද්ධි තොරතුරකට අනුව පරීක්ෂාව සිදුකර තිබේ. එහිදී අවසරයකින් තොරව යුරෝ 5 (Euro 5) වර්ගයේ ඩීසල් හුවමාරු කරමින් සිටි බවත්, එහි මුළු වටිනාකම රිංගිට් මිලියන 5.43ක් (ඇමරිකානු ඩොලර් මිලියන 1.37ක් පමණ) වන බවත් බලධාරීහු පවසති. මෙම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් මැලේසියානු, මියන්මාර, රුසියානු, පිලිපීන සහ ඉන්දුනීසියානු ජාතිකයන්ගෙන් සමන්විත කාර්ය මණ්ඩල සාමාජිකයන් 22 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
මැලේසියාව අවට මුහුදු සීමාව ඉන්ධනවල මූලාරම්භය වසන් කරමින් සිදුකරන මෙවැනි නීති විරෝධී ඉන්ධන හුවමාරු කිරීම් සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර, මින් ඉදිරියට එවැනි ක්‍රියාවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව මැලේසියානු බලධාරීහු අවධාරණය කරති.














