මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමද් මුයිසු ලබන මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කරයි. මෙම සංචාරයට පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
මාලදිවයින සතු නැවුම් මත්ස්‍ය සම්පත සහ ශ්‍රී ලංකාවේ දැනට දියුණුව පවතින ටින් මාළු කර්මාන්තය ඒකාබද්ධ කරමින් නව නිෂ්පාදන ලෝක වෙළෙඳපොළට හඳුන්වා දීම පිළිබඳව මෙහිදී දීර්ඝව සාකච්ඡා වී ඇත. විශේෂයෙන්ම මාලදිවයින් වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකාව තුළ අගය එකතු කළ මත්ස්‍ය නිෂ්පාදන (Value-added fish products) සකස් කිරීම කෙරෙහි දෙපාර්ශවයේම දැඩි අවධානය යොමුව තිබේ.
මෙම නව ව්‍යාපෘති හරහා දෙරටේම ධීවර ප්‍රජාවට නව ආර්ථික අවස්ථා උදාවන අතර, කලාපීය වශයෙන් මත්ස්‍ය නිෂ්පාදන අපනයනය ශක්තිමත් කිරීමටද මෙය මහඟු පිටිබලයක් වනු ඇත. ජනාධිපති මුයිසුගේ සංචාරයේදී මේ සම්බන්ධයෙන් වන නිල ගිවිසුම්වලට එළඹීමට නියමිත බව වාර්තා වේ.
මැදපෙරදිග පවතින දේශපාලනික අස්ථාවරත්වය හමුවේ දකුණු ආසියානු කලාපීය සහයෝගීතාවය වර්ධනය කර ගැනීම උදෙසා මෙම සංචාරය ඉතා තීරණාත්මක වනු ඇතැයි විදේශ රාජ්‍යතාන්ත්‍රික අංශ පෙන්වා දෙයි.













